Friday, August 29, 2008

තිස්සගේ නඩුව සහ මහින්දගේ වාර්තාව

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්
තිස්සගේ නඩුව සහ මහින්දගේ වාර්තාව
සුනන්ද දේශප්‍රිය

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍ය මර්ධනයෙහි ලා තවත් වාර්තාවක් තැබුවේ ය. ඒ තිස් වසරක් තරම් කාලයක් පුරා ජනමාධ්‍යට සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව යොදා නොගැනුනු ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ ජනමාධ්‍යවේ දි තිස්සෙයිනායගම්ට එරෙහිව නඩු පැවරීම මගිනි.
1979 දී මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන එන ලද අවස්ථාවේ දි මෙරට ප්‍රධාන පෙළේ වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන එයට විරුද්ධත්වය පළ කලේ එය මෙරට ප්‍රජාත‍න්ත්‍රවාදි අයිතින්ට දරුණු පහරක් එල්ල වන බවට පූරෝකථනය කරමිනි.
මෙම දුෂ්ඨ පනත මෙරට ත්‍රස්තවාදය නැති කරනු වෙනුවට පසුගිය වසර 27 පුරාම යොදා ගැනුනේ මෙරට ජනයාගේ මූලික අයිතීන් කෙළෙසීම පිණිස ය. එය නිතිගත කළ 1979- 1981 වර්ශයන්හි දී අප බොහෝ දෙනෙකු එක්ව සිටි මර්ජ් ව්‍යාපාරය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව රට පුරා සම්මන්ත්‍රන මාලාවක් සංවිධානය කලේ ය. එම සියළු රැස්වීම් හි කතා කළ ප්‍රධාන කතිකයා වූයේ අධිනීතිඥ ප්‍රින්ස් රාජසුරිය මහතා ය. මෙම ව්‍යාපාරය දිව වූයේ ජෝ. සෙනවිරන්න ය. ප්‍රින්ස් මර්ජ් ව්‍යාපාරයේ ලේකම්වරයා වූ අතර ජෝ ජාතික සංවිධායකවරයා විය. ඔහු සමඟ මෙම රැස්වීම් බොහොමයකට සහභාගි වීමේ වාසනාව මට තිබුණි. කවදා හෝ දිනෙක මෙම පනත ජනමාධ්‍ය මර්ධනයට ද යොදා ගැනෙනු ඇති බවට ප්‍රින්ස් රාජසූරිය මහතා කළ අනාවැකිය ඇත්ත බවට පත් කිරීමට දැන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමත් වී තිබේ.
දැන් මාස පහක් රඳවා ගෙන සිටීමෙන් පසු ජනමාධ්‍යවේදී තිසෙයිනායගම්ට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා ඇත.
පළමුවැන්න නම් 2006 ජුනි 01 වැනිදා සිට 2007 ජුනි 01 වැනි දක්වා වූ කාලය තුළ ”නෝර්ත් ඊස්ටර්න් මන්ත්ලි” නම් වූ සඟරාව මුද්‍රණය කිරීම, ප්‍රකාශයට පත් කිරීම සහ බෙදාහැරීම හේතුවෙන් ත්‍රස්තවාදී කටයුතු වැළැක්වීමේ පනතෙහි (PTA) සඳහන් නීති විරෝධී කි‍්‍රයාවන් සිදු කිරීම ය. දෙවැන්න නම් නෝර්ත් ඊස්ටර්න් මන්ත්ලි සඟරාවේ පළකරනු ලැබු ලිපි මඟින් රජය අප කීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් යට කී පනතෙහි දක්වා ඇති නීති විරෝධී කි‍්‍රයාවන් සිදුකිරීම ය. තෙවැන්න නම් එම සඟරාව සඳහා අරමුදල් එක්රැස් කිරීම ඔස්සේ ත්‍රස්තවාදී සංවිධානවලට උපකාර කිරීම සහ අනුබල දීමෙන් 2006 දෙසැම්බර් මාසයේදී ප‍්‍රකාශයට පත්කරන ලද අංක 1475/5 නම් වූ අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි සඳහන් හදිසි නීති රෙගුලාසි උල්ලංඝනය කිරීම යන චෝදනා ඒවාය.
ඔහු අත් අඩංගුවට ගත්තේ ඔහු විසින් පවත්වා ගෙන ගිය අවුට් රීච් නම් වෙබ් අඩවිය පිළිබඳව ය. නමුත් දැන් නඩු පවරා ඇත්තේ සහමුලින්ම වෙනත් කරුණක් සම්බන්ධයෙනි.
ඔහු වෙත නඟා ඇති රජය අපකීර්තියට පත්කිරීම පිළිබඳව වූ චෝදනාව අපරාධකාරී ක්‍රියාවක් ලෙස ශ්‍රී ලංකාවේ නීතියෙහි හඳුන්වා දී නොමැත. එබැවින්ම මෙම චෝදනා ප්‍රකාශනයේ නිදහස, ස්වාධීනත්වය සහ මාධ්‍යයෙහි ගෞරවය පිළිබඳව ඇතිකරනු ලබන කරන ප්‍රශ්න ඉතා බරපතල ය.
මෙම චෝදනා මත කවරකු හෝ සිරගත කළ යුතු යැයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කල්පනා කරන්නේ නම් පසුගිය කාලය පුරා යුද්ධය, ඊට හේතු වූ කරුණු, මිනිස් ඝාතන සහ දෙමළ ජනයාගේ අයිතින් පිළිබදව පුවත්පත්හි ලියූ අප බොහෝ දෙනෙක් සිර ගත කිරිමට ආණ්ඩුවට හැකි වනවා සහ සිදුවනවා ඇත.
තිස්සනායගම් මහතාට චෝදනා එල්ල කිරීම සඳහා යොදාගෙන ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බලය අයුතු ලෙස භාවිතා කිරීමට, වාර්ගික අසම සැලකීමට සහ නිදහස මර්දනය කිරීමට ඉඩ සලසන්නා වූත් මානව හිමිකම් ආරක්‍ෂා කිරීමේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන්නා වූත් භයංකර නීතියකි. පසුගිය මහා මැතිවරණය දක්වාම ජනතා විමුක්ති පෙරමුණ පවා මෙම පනත අහෝසි කළ යුතු බව සිය දේශපාලන වැඩ සටහන්හි ඇතුළත් කර තිබුණි. ශ්‍රීලනිප පවා කළෙක මෙම පනත අහෝසි කිරිම වෙනුවෙන් පෙනි සිටියේ ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විධිමත් අධිකරණමය ක්‍රියාමාර්ග පිළිබඳ ජාත්‍යන්තර මූලධර්ම වලට පටහැනි ය. එමගින් විධායකය වෙත අසීමිත බලයක් ප්‍රදානය කරයි. එය දඬුවම් පැමිණවීමේ බලතල දිරිගන්වමින් මාධ්‍ය ප්‍රකාශන වල අන්තර්ගත වන කරුණු පාලනය කිරීමට විධායකයට ඉඩ සලසයි. මෙම පනත සහමුලින්ම ක්‍රියාවට නගන්නේ නම් ජනමාධ්‍ය වාරණය කිරිමට ඉන් භයානක අවකාශයක් සැලසෙයි.
2006 දෙසැම්බරයේදී බලාත්මක කරන ලද හදිසි නීති රෙගුලාසි සිවිල් සමාජයේත් මාධ්‍යවලත් ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යනුකූල ක්‍රියාවන් රාශියක් අපරාධමය ක්‍රියාවන් සේ හැඳින්වීමට ඉඩ ලැබේ. ඒ අනුව ප්‍රකාශනයේ සහ විසම්මුතියේ නිදහස කප්පාදු කිරීමට ඉඩ සැලසෙන බව ජනමාධ්‍ය සංවිධාන ඒ අවස්ථාවේ දීම පෙන්වා දුන්නෝ ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම හදිසි නීති රෙගුලාසි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නොගැලපෙන ඒවා ය. මෙම නීති දෙකම ගෙන එවන ලද්දේ යුද්ධය අවසන් කිරිමට සහ එල්ටීටීඊ සංවිධානය සමඟ සටන් කිරීමට අවශ්‍ය බව කියමිනි. නමුත් ඉතිහාසය පුරාම සිදු වී ඇති පරිදි අද ද සිදුවන්නේ එවැනි නීති පාලකයින්ගේ ඒකාධිපති බලතල ඉහළ නංවා ගැනීමටත් පුරවැසියන්ගේ මූලික මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදු කිරීමටත් ය.
1990 ගණන්හි දී මහින්ද රාජපක්ෂ මහතා යක්ෂයා සමඟ හෝ එක්ව සටන් කරන බවට පොරොන්දු දුන්නේ ද ජීනිවා මානව හිමිකම් කොමිසමට ගොස් උද්ඝෝ්ෂනය කලේ ද මෙම නීති මගින් දකුණේ ඇති කරන ලද භීෂනයට එරෙහිව ය. ඉතිහාසයේ සරදම නම් ඔහුට සිය පාලනය පවත්වා ගෙන යෑම පිණිස අද එම බියකරු නීති මත රඳා පැවැතීමට සිදුවීම යි. වැඩ කරන ජනයාගේ සටන් මැඩලීම පිණිසත් ශිෂ්‍ය අරගල පාගා දැමිම පිණිසත් ඔහු අද රඳා පවතින්නේ මෙම මර්ධනකාරී නීති මත ය. ඉන් පෙන්වන්නේ ඔහුගේ ශක්තියක් නොව දුර්වල කමයි.
ජනමාධ්‍යවේ දී තිස්සනායගම් එරෙහිව මෙම නීති දෙක යටතේ චෝදනා ඉදිරිපත් කිරීම මඟින් පැහැදිලිව පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රකාශනයේ නිදහසට සහ මාධ්‍යයේ නිදහසට එරෙහිව සෘජු ප්‍රහාරයක නිරතව සිටින බව යි. එමඟින් තවදුරටත් පැහැදිලි වන්නේ ප්‍රජාත්නත්‍රවාදී ජීවිතයක මූලික වටිනාකම් වූ විකල්ප මත සහ විසම්මුතියත්, විවෘත සංවාදය සහ අදහස් ප‍්‍රකාශ කිරීමත් යන කරුණුවලට ප‍්‍රහාර එල්ල කිරීමට ආණ්ඩුව දරනු ලබන උත්සාහය යි. තව දුරටත් තමන් මූලික ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අගයන බවටත් මාධ්‍ය නිදහස සුරකින බවටත් ලෝකයාට කියා සිටිමට දැන් ආණ්ඩුවට නොහැකි ය.
මෙම නඩුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිලිබඳ තිරණාත්මක කඩ ඉමක් විමට දැන් ඉරණම් ලබා තිබේ. මේ වනාහී තිසෙයිනායගම්ගේ නඩුවක් නොවේ. අප හැමට එරෙහිව ගොතන ලද භයානක දේශපාලන සහ නීතිමය නඩුවකි.

Thursday, August 21, 2008

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය : (SLWJA)
මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනය : (FMETU)
ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය : (SLMMF)
ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය : (SLTJA)
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය : (FMM)

පුවත්පත් නිවේදනය
2008 අගෝස්තු 20, කොළඹ දී

මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම්ට එරෙහිව නඩු පැවරේ

ඉතා විශ්වාස කටයුතු මාධ්‍ය මූලාශ්‍රයක් මඟින් අප මාධ්‍ය සංවිධාන වෙත දැනගන්නට ලැබී ඇති අන්දමට 2008 මාර්තු 07 වැනි දා සිට මේ දක්වා ත්‍රස්ත විමර්ශණ අංශයේ අත්අඩංගුවේ රඳවා තබාගෙන සිටි මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතාට එරෙහිව මහාධිකරණයෙහි නඩු පවරා තිබේ. ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය තවමත් අප වෙත ලැබී නැති නමුත් අපගේ තොරතුරු මූලාශ්‍රවලට අනුව තිස්සනායගම් මහතාට එරෙහිව නඩු පවරනු ලැබ ඇත්තේ පහත දැක්වෙන චෝදනා යටතේය.

1. 2006 ජුනි 01 වැනිදා සිට 2007 ජුනි 01 වැනි දක්වා වූ කාලය තුළ ”නෝර්ත් ඊස්ටර්න් මන්ත්ලි” නම් වූ සඟරාව මුද්‍රණය කිරීම, ප්‍රකාශයට පත් කිරීම සහ බෙදාහැරීම හේතුවෙන් ත්‍රස්තවාදී කටයුතු වැළැක්වීමේ පනතෙහි (PTA) සඳහන් නීති විරෝධී ක්‍රියාවන් සිදු කිරීම,

2. නෝර්ත් ඊස්ටර්න් මන්ත්ලි සඟරාවේ පළකරනු ලැබු ලිපි මඟින් රජය අප කීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් යට කී පනතෙහි දක්වා ඇති නීති විරෝධී ක්‍රියාවන් සිදුකිරීම
සහ
3. එම සඟරාව සඳහා අරමුදල් එක්රැස් කිරීම ඔස්සේ ත්‍රස්තවාදී සංවිධානවලට උපකාර කිරීම සහ අනුබල දීමෙන් 2006 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද අංක 1475/5 නම් වූ අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි සඳහන් හදිසි නීති රෙගුලාසි උල්ලංඝනය කිරීම යන චෝදනා ඒවාය.

තිස්සනායගම් මහතාට එරෙහි චෝදනා ගොනු කිරීමේ බලය ඇති එකම බලධාරියා නීතිපතිවරයා බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී ත්‍රස්ත විමර්ශණ අංශය විසින් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා යැයි කියමින් තිස්සනායගම් මහතා මාස 5ක කාලයක් රඳවා තබාගෙන සිටීම සහ ඒ සඳහා අධිකරණය විසින් අදාළ බලධාරීන් වෙත සැලකිය යුතු මට්ටමේ නිදහස් කාල අවකාශයක් ලබා දෙනු ලැබීම පිළිබඳවත් මාධ්‍ය සංවිධාන එකමුතුව තම කණස්සල්ල පළකරයි. ඒ මඟින් පෙනී යන්නේ බලධාරීන් නෛතික විධිවිධාන භාවිතා කරමින් තිස්සනායගම් මහතා තවදුරටත් සිරකර තබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට දැනුවත්ව වෑයම් දරමින් සිටින බවය. එය මර්දනකාරී පියවරක් මිස අන් කිසිවක් නොවේ. අවම වශයෙන් ඔහු වෙත නඟා ඇති රජය අපකීර්තියට පත්කිරීම පිළිබඳව වූ චෝදනාව අපරාධකාරී ක්‍රියාවක් ලෙස ශ්‍රී ලංකාවේ නීතියෙහි හඳුන්වා දී නොමැති බව මෙහි ලා සඳහන් කළ යුතුව තිබේ. ඒ අනුව ගත් කල වරදක් යැයි සලකනු නොලබන ක්‍රියාවක් සිදුකිරීම ගැන කෙනෙකු චුදිතයකු වන්නේ කෙසේදැයි යන්න තේරුම්ගත නොහැකි කරුණකි.
මෙම කරුණු පොදු වශයෙන් මානව හිමිකම්වල ආරක්‍ෂාව සම්බන්ධයෙන් සහ විශේෂයෙන් ප්‍රකාශනයේ නිදහස, ස්වාධීනත්වය සහ මාධ්‍යයෙහි ගෞරවය පිළිබඳ ඉතා බරපතල ප්‍රශ්න රාශියක් මතු කරයි. තිස්සනායගම් මහතාට චෝදනා එල්ල කිරීම සඳහා යොදාගෙන ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බොහෝ දෙනා සලකනු ලබන්නේ බලය අයුතු ලෙස භාවිතා කිරීමට, වාර්ගික අසම සැලකීමට සහ නිදහස මර්දනය කිරීමට ඉඩ සලසන්නා වූත් මානව හිමිකම් ආරක්‍ෂා කිරීමේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන්නා වූත් ”භයංකර නීතියක්” ලෙසය. අප දන්නා පරිදි 1979 දී එම නීතිය භාවිතාවට ගෙන ඒමෙන් පසුව ඒ යටතේ මාධ්‍යවේදියකුගේ වෘත්තීය භාවිතාවට අදාළ කටයුතු සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ල කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විධිමත් අධිකරණමය ක්‍රියාමාර්ග පිළිබඳ ජාත්‍යන්තර මූලධර්ම වලට පටහැනි වන්නා සේම විධායකය වෙත ද අසීමිත බලයක් ප්‍රදානය කරන්නකි. ඒ මඟින් දඬුවම් පැමිණවීමේ බලතල දිරිගන්වමින් මාධ්‍ය ප්‍රකාශන වල අන්තර්ගත වන කරුණු පාලනය කිරීමට විධායකයට ඉඩ සලසයි. එය සෘජු ලෙසම ප්‍රකාශනයේ නිදහස සහ මාධ්‍ය නිදහස කප්පාදු කිරීමටද අවකාශ සලසන්නකි.
මෙම හදිසි නීති රෙගුලාසි ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහ ජාත්‍යන්තර නීතිය මඟින් ලබා දී ඇති මූලික අයිතිවාසිකම් වලට පටහැනි බවට අප සංවිධාන සමූහයේ සාමාජික නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු ජාතික සහ ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම් එම රෙගුලාසි පනවන ලද 2006 දෙසැම්බරයේ සිට නොකඩවා තර්ක කළහ. 2006 දෙසැම්බරයේදී මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලද අවස්ථාවේදී ඔවුන් පෙන්වා දුන්නේ එම රෙගුලාසි කෙටුම්පත් කිරීමට යොදාගෙන ඇති පුළුල්, අපැහැදිලි හා නිශ්චිත අරුත් නොහඟවන භාෂා විලාසය හේතුවෙන් සිවිල් සමාජයේත් මාධ්‍යවලත් ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යනුකූල ක්‍රියාවන් රාශියක් අපරාධමය ක්‍රියාවන් සේ හැඳින්වීමට ඉඩ ලැබෙනු ඇති බවය. ඒ අනුව ප්‍රකාශනයේ සහ විසම්මුතියේ නිදහස කප්පාදු කිරීමට ඉඩ ලැබෙනු ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉතා පැහැදිලිව කියා සිටියේ ” මුළුමනින්ම ගත් කල විශේෂයෙන් පවත්නා අභියෝගාත්මක ආරක්‍ෂක වාතාවරණය යටතේ එවැනි පුළුල් බලතල ප්‍රදානය කිරීමක් හේතුවෙන් සිදුවන බලය අයුතු ලෙස භාවිතා කිරීම මඟින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම වැළැක්විය නොහැකි” බවය. (2006 දෙසැම්බර් 07 දිනැති නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිවේදනය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඒ සම්බන්ධව නිකුත් කරන ලද කාලීන නිවේදන සහ නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම (ICJ) විසින් නිකුත් කරන නිවේදන බලන්න) කරුණු වශයෙන් මෙන්ම බෙහෙවින් දුර්වල පදනමක් මත පිහිටා සිටිමින්ද මෙලෙස තිස්සනායගම් මහතාට එරෙහිව නඩු පැවරීම සැලකිල්ලට ගත් කල අපට සැක මතුවන්නේ ඒකාධිපති වූත්, අසාධාරණවූත් මෙම නීතිය තහවුරු වීමට ඇති අවදානම පිළිබඳවය. අප මාධ්‍ය සංවිධාන අවිවාදයෙන් දරන්නා වූ මතය වන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ 2006 දෙසැම්බර් හදිසි නීති රෙගුලාසි යන නීති මුලාශ‍්‍ර දෙක මඟින් ස්ථාපිත කර ඇති නීතිමය රාමුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කරනු ලැබ ඇති නීත්‍යනුකූල ජාතික ආරක්‍ෂක අවධාරණයන් සහ ප්‍රකාශන නිදහස අතර වූ සමබරතාවය පාලනය කිරීමේ ජාත්‍යන්තර ප්‍රමිතීන් සඳහන් වන ජොහැන්ස්නස්බර්ග් මූලධර්මවලට පටහැනි බවයි. මෙම නීතිවල ඇතුළත් භාෂාව අවිනිශ්චිත සහ පුළුල්ය. එයට කරුණු අතර තර්කානුනකූල සබඳතාවක අවශ්‍යතාවයක් නැත. පාලක පියවරයන් සහ ඒ මඟින් වලක්වන්නට අපේක්‍ෂිත හානිය අතර සමානුපාතික බවක් නැත.
සමානුපාතික නොවන දඬුවම් පැනවීම සහ අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පුළුල් ලෙස සිදුවන අසම ලෙස සැලකීම පිළිබඳව ඇගයීමට සහ අභියාචනය කිරීමට ඉඩකඩක් සපයා දී නැත.
තිස්සනායගම් මහතාට එරෙහිව මෙම නීති දෙක යටතේ චෝදනා ඉදිරිපත් කිරීම මඟින්
පැහැදිලිව පෙන්වා දෙන්නේ එය ප්‍රකාශනයේ නිදහසට සහ මාධ්‍යයේ නිදහසට එරෙහිව එල්ලකරන ලද සෘජු ප්‍රහාරයක් බවය.

තිස්සනායගම් මහතා උදාහරණයට තබා ගනිමින් සිදුකරනු ලබන මෙම ක්‍රියාවලිය මඟින් තවදුරටත් පැහැදිලි වන්නේ ප්‍රජාත්නත්‍රවාදී ජීවිතයක මූලික වටිනාකම් වූ විකල්ප මත සහ විසම්මුතියත්, විවෘත සංවාදය සහ අදහස් ප‍්‍රකාශ කිරීමත් යන කරුණුවලට ප්‍රහාර එල්ල කිරීමට දරනු ලබන උත්සාහයයි. එසේම එය තවදුරටත් අවධාරණය කරන්නේ ත්‍රස්ත විරෝධී නීති භාවිතා කරමින් මාධ්‍ය වෘත්තිකයන් අධිකරණය වෙත ගෙන එනු ලැබිය හැකි බවයි.

අප සියලූම ශ්‍රී ලාංකිකයන් වෙත අවධාරණය කරන්නේ තිස්සනායගම් මහතාට එරෙහිව නඩු පැවරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයටත් මානව හිමිකම්වලටත් එරෙහි වූ තර්ජනයක් බවයි. එය එක් අතෙකින් අප විසින් නොසලකා හැර ඇති ආසන්න අනතුරකි. අප ජාත්‍යන්තර ප්‍රජාවට අවධාරණය කරන්නේ හදිසි නීති රෙගුලාසි අයථා පරිදි භාවිතා කිරීම පිළිබඳව දැක්විය යුතු අවධානය යොමුකරමින් ශ්‍රී ලංකාවේ බලධාරීන් වෙත අදාළ පරිදි මැදිහත් වන ලෙසයි. අප මාධ්‍ය සංවිධාන හුදෙක්ම අපේක්‍ෂා කරන්නේ අධිකරණය ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි අප විසින් රඳවා තබා ඇති විශ්වාසය තහවුරු කරමින් තිස්සනායගම් මහතා සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බවත්, ඒ මඟින් ශ්‍රී ලාංකිකයන්ට හිමිවිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් ආරක්‍ෂා කර දෙනු ඇති බවත්ය.
----------------------------------------------------------------
සනත් බාලසූරිය 077 363 0000 - සුනන්ද දේශප්‍රීය 0777 312457
ධර්මසිරි ලංකාපේලි 077 364 1111 - එන්.එම් අමින් - ආර්. භාරතී
ශ්‍රී ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය, අංක 1ක්‍ 1/1, 28 වැනි පටුමඟ, මල් පාර, කොළඹ 07.